වෙසක් මාසය තමයි මේ එළඹිලා තියෙන්නේ. වෙසක් මාසය කියන්නේ බෞද්ධ පිරිසට බොහෝම වැදගත් යැයි සැලකෙන මාසයක්. ඉතින් මේ මාසයේ විශේෂත්වය කියන්නට නම් නෙවේ මෙම සටහන තබන්නේ. සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය කියන්නාවූ සුවිශේෂී අවස්ථාවන් සමරන මේ මාසය තුලදී අතිදුර්ලභ මනුෂ්‍යයෙක් වශයෙන් සිතා බැලිය යුතු දෑ නම් බොහෝමයි. ඒ අතරින් දැනට බෞද්ධ යැයි පවසාගන්නා බොහෝ දෙනෙකුටත් සැබෑම බෞද්ධයෙක් වීමට සැබෑම ප්‍රඥාවන්තයෙක් වීමට කටයුතු කරන සෑබෑම මිනිසුන් වෙතටත් සුපුරුදු පරිදි දහම් පණිවිඩයක් මෙවර කතුවැකිය තුලිනුත් ලබාදෙන්නේ නිවී සැනසීම උදාකරගැනීම පිණිසම පමණයි.
"පිටත ගිනි ඇතුලට නොගන්න - ඇතුලත ගිනි පිටතට නොදෙන්න" යන කරුණ බොහෝ විට භාවිතා වන්නේ කාන්තාවන් අරඹයායි. ඔවුන් විසින් තම නිවසේ සිදුවීම් කරුණු කාරණා ආදිය බාහිරවූ පිරිස් සමඟ බෙදා හදාගැනීම නිසාවෙනුත් බාහිර පිරිස් සම්බන්ධ දෑ නිවසේ කතා බහ කරමින් ඇසුරු කිරීම නිසාවෙනුත් කෙටියෙන් කියනවා නම් "ඕපාදූප" යැයි අප හඳුනන කරුණු සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්ණ ගැටලු නිසාවෙන් මෙම කියමන භාවිතා වෙනවා.
බෞද්ධ චරිත අතර විශාඛාව කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක්. ඇය විවාහ වන විට ඇයගේ පියාණන් විසින් ඇයට දුන්නාවූ අවවාද අනුශාසනා ලෙසින් තමයි මේ කරුණු පෙන්වා දෙන්නේ. ඉතින් මේ වැදගත් ඔවදන කාන්තාවන්ට පමණයිද? ඒ කරුණ වර්ථමානයට වලංගු වන්නේ කෙසේද? එය නිවී සැනසීම පිණිස උපකාර කරගත නොහැකිද? ඉතාමත් කෙටියෙන් වර්ථමාන සමාජයට මෙම කියමන වඩාත් වැදගත්වන්නේ කෙසේදැයි මෙවර කතුවැකිය තුලින් විමසා බලමු.
වර්ථමානයේ අන්තර්ජාලයේ සැරිසරන සමාජ වෙබ් අඩවි තුල කාලය ගත කරන බොහෝ පිරිසකට මෙම අවවාදය ඉතාමත් වැදගත් අවවාදයක් ලෙසින් නුවණින් දැක ප්‍රයෝජනයට ගත හැකියි. අන්තර්ජාලය ඔස්සේ බහුලව දකින්නට ලැබෙන්නේ තම තමන්ගේ නිවෙස් වල, තමන් සිටින ප්‍රදේශයේ, තමන් සිටින රටේ ආදී වශයෙන් ගෙන අභ්‍යන්තරයේ සිද්ධ වන දේවල් රැසක් බෙදා හදාගැනීමයි. මේ බෙදා හදාගැනීම සරලවම කියනවා නම් "පිටත ගිනි ඇතුලට ගැනීමක් සහ ඇතුලත ගිනි පිටතට දීමක්මයි"
උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව තුල දක්නට ඇති තත්වය ගන්නවා නම් ලංකාවාසී බොහෝ පිරිසක් සිදුකරන මේ කටයුත්ත නිසාවෙන් දැනටමටත් ඇතිවී ඇති ප්‍රශ්ණ ගැටලු මෙතෙකැයි කියන්නට නොහැකියි. අන්තර්ජාලය ඇසුරු කරන විට ලක්බිම තුල සිදුවන සෑම ආකාරයකම අයහපත් කටයුතු පිටතට මුදාහැරීමක් දැකීමට තිබෙනවා. යහපත් දේ කතා බහට ලක්වෙන්නේ බොහෝම අල්ප වශයෙන්. ඒ වගේම තමයි අනෙක් රටවල තිබෙන්නාවූ දෑද ඒ ආකාරයෙන් ඇසුරු කරනවා. මෙන්න මේ ගිනි හුවමාරුව නිසාම පවුලක් වශයෙනුත්, ප්‍රදේශයක් වශයෙනුත්, රටක් වශයෙනුත් බොහෝ ප්‍රශ්ණ ගැටලු වලට මුහුණ දීමට සිදුවෙනවා.
ඉතින් කාන්තාවක් වුවත් පිරිමියෙක් වුවත් මේ ආකාරයෙන් ගිනි හුවමාරු කරනවා නම් ඒ පුද්ගලයා තුල තිබෙන්නේ ඕපාදූප හුවමාරු කරගැනීමේ අයහපත් වූ ස්ත්‍රී ගති ලක්ෂණ ස්වභාවයක්මයි නේදැයි බොහෝම බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි.
පුද්ගලයෙක් වශයෙන් ඔබතුල මෙවැනි ස්වභාවයක් තිබෙන තාක් ඔබතුල ගිනි වලට ඇති කැමැත්තක්ම ප්‍රකට වෙනවා නේද? ගිනි වලට කැමැති නම් දැවීමටත් ඔබ කැමති විය යුතුයි... එහෙම නේද? ඒත් දැවීමට කිසිවෙකුත් කැමති නෑනේ. අන්න ඒ නිසාම පවුලක් වශයෙන්, සමාජයක් වශයෙන්, රටක් වශයෙන් යම් යම් ප්‍රශ්ණ ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වූ විට දැවීමට ඇති අකමැත්ත නිසාම බොහෝම කම්පාවට අසහනයට දුකට තරහට කරදරයට පත්වෙනවා. ඒත් සියලු දුක් රැසට හේතු වෙලා තියෙන්නේ ගිනි වලට ඇති කැමැත්ත නිසාම සිදුකරගත්තාවූ ගිනි හුවමාරුව නොවේදැයි දැකගැනීමට බොහෝ පිරිසක් අපොහොසත් වෙනවා.
ඉතින් බුද්ධිමත් සැබෑම මිනිසෙක් වශයෙන් මේ දේ පිළිබඳව නුවණින් විමසා බලන්නට ආරාධනා කර සිටිනවා. ආගම, ජාතිය, කුලමල තත්ව තානාන්තර කුමක් වුවත් ඔබ තුල මේ ගිනි හුවමාරුව තිබෙන තුරු දැවීමට හේතු ඇතිවෙනවා. එහෙම නේද? දැවෙන තුරු නිවීමක් ලැබීමට නොහැකියි. ඒ නිසා ගිනි හඳුනාගෙන දැවීම දැක එයින් මිදී සැබෑම නිවීමක් ලැබීමට ප්‍රඥාවන්තව කටයුතු කිරීම වඩාත් සුදුසුයි නේදැයි ප්‍රඥාවන්තව විමසා බලා තීරණයකට පත්විය යුතුයි.
ඉතින් බෞද්ධ වුවත් නැතත් ඔබ විසින් පවුලේ යම් දෙයක් හෝ වේවා ප්‍රදේශයේ යම් දෙයක් හෝ වේවා රටේ යම් තත්වයක් හෝ වේවා යම් කරුණක් හෝ වේවා මින්පසුව තවත් කෙනෙක් සමඟින් බෙදාගැනීමට මත්තෙන් අන්තර්ජාලයට මුදාහැරීමට මත්තෙන්, මුහුණු පොතේ හෝ වෙනත් සමාජ වෙබ් අඩවි වලදි කථා බහට ලක්කිරීමට මත්තෙන් මේ "පිටත ගිනි ඇතුලට නොගන්න - ඇතුලත ගිනි පිටතට නොදෙන්න" යන කරුණ ඔබ බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් සිහියේ තබාගන්නවා නම් බොහෝ දැවීම් සහ අසහනකාරී දුක් සහිත ප්‍රශ්ණ ගැටලු රැසක් සහිත අයහපත් ප්‍රතිඵල රැසක්ම වැලකී යනවා නිසැකයි.
අකුසලයට නැඹුරු වූ මනසට මේ කරුණ එකවර දැකීමට අපහසුවේවි. බහුතරයක් අපගේ මනස ආකර්ශණය වන්නේම ඇස, කණ, දිව, නාසය, කය සහ මන පිනවෙන මේ ආශ්වාද මාත්‍රයක් ගෙන දෙන වැඩපිලිවෙලටමයි. ඉතින් සිහියෙන් ඉන්න. යම් මට්ටමකින් යම් නුවණක් වේ නම් ඒ නුවණ මෙහෙයවන්න. වීර්ය ඇතිව අකුසලයෙන් අයහපතෙන් ගින්නෙන් දැවීමෙන් මිදෙන්න. එවිට සැබෑවටම බෞද්ධයෙක් වීමට හැකිවේවි. ඕපාදූපයට සිත නැති සැබෑම පිරුණු පුද්ගලයෙක් වීමට හැකිවේවි. නිවී සැනසීමට පත්වූ සැබෑම සතුට හිමි කරගැනීමට හැකිවේවි!!!
ප්‍රඥාවන්තව සිහියෙන් නුවණින් වීර්යෙන් කටයුතු කොට නිවී සැනසීමට උදාකරගැනීමට ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවා!!!
![]() |
Add caption |
No comments:
Post a Comment