Social Icons

Tuesday, July 1, 2014

නිවන් දකින්නට ඇත්තටම පින් මදිද?

නිවන් දකින්නට ඇත්තටම පින් මදිද? බුදු පියාණන්වහන්සේගේ කාලයේ විතරද ප්‍රඥාවන්තයින් බිහි වෙන්නේ කියලා විමසා බලන්නට මෙවර කතු වැකිය වෙන්කරමි. අමතර කථා නැතිව කෙලින්ම නිසි දේ කථා කරනවා නම් ‍මේ කියන දේවල් ‍ටික ඔබෙන්ම විමසා බලන්නට කටයුතු කරන්නකෝ.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් පහළ වෙලා මතුකරන ශ්‍රී සත්ධර්ම රත්නය තුල බොහෝම
අපූරුවට උන්වහන්සේ හේතු ඇතිව පෙන්වා දෙනවා මනුස්ස ජීවිතයක් ලැබෙන එක කොතරම් දුර්ලභද කියලා එහෙම නේද? මහා පොළොවේ පස් වලින් නිය පිටට ගන්න තරම් පස් ටිකක් සසඳා පෙන්වනවා මනුස්ස අත්බැවයක් ලබාගන්නා ජීවීන් පිරිස. මහා පොළොවේ ඉතිරි පස්වලින් බොහෝමයක් සතර අපාගතවන ආකාරයත් වෙනත් අත්බැව් ලබාගන්නා දුර්ලභත්වයත් බොහෝම අපුරුවට මේ ධර්මය තුල උදාහරණ උපමා වලින් පෙන්වා දෙනවා. ඉතින් මනුස්ස අත්බැවයක් ලබනවා කියන්නේ එහෙනම් ඒ පුද්ගලයා කොච්චර නම් පින් කරලා තියෙන්නේ ඕනද කියලා ටිකක් හිතලා බලන්නකෝ.  ඔන්න දැන් මේ කියන දේවල් ඔබ තුල තියෙනවාද කියලාත් විමසා බලන්නකෝ.
අති දුර්ලභ මනුස්ස අත්බැවයක් ඔබ ලබලද නැත්ද?
ඒ අති දුර්ලභ මනුස්සයන් අතරිනුත් ශරීරාංග හොඳින් තියෙන විශේෂයෙන්ම හිතලා යමක් කරගන්නට පුළුවන් බුද්ධියක් තියෙන මන්ද බුද්ධික හෝ අංගවිකල නොවන මනුස්සයෙක් වෙලාද නැත්ද?
ඒ මනුස්සයන් කීප දෙනා අතරිනුත් ඔබ බුදු දහමේ ඇසුර නොලබන දැඩි අන්‍යආගමික මත තියෙන මනුස්සයෙක් නොවී බොහෝම විවෘත මනසක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙලා ඉන්නවද නැත්ද?
ඒ මනුස්සයන් කීප දෙනා අතරිනුත් නිතර ශ්‍රී සත්ධර්ම රත්නය කණ වැකෙන රටක ප්‍රදේශයක පිරිසක් අතර ඔබ ඉන්නවද නැත්ද?
අනේ දෙවියනේ "නිවන් දකින්නට පින් මදි" කියලා ඔය කටින් පිටවෙනකොට "මොන කටකින් මම මේවා කියන්නද කියලා මොහොතකටවත් සිතුණේ නැත්ද?" මෙයිටත් වඩා ඔබ බලාපොරොත්තු වෙන පින් මොනවද? මෙයිටත් වඩා කරන්න ඕන කියලා හිතෙන පින් මොනවද?
ලැබිලා තියෙන දේ තුලින් ‍ඵල නෙලා නොගෙන තවත් මතු බලාපොරොත්තු හදමින් අනන්ත දුක් සහිත පැවැත්මට හිත තිබ්බොත් ඔබට ගැලවීමක් ලැබෙයිද? මෙච්චර අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන්නේ ඔබ ‍මින් පෙර අත්බැව් වල ඇති තරම් පින් කරලා නෙවේද?
මොහොතකට හිතන්න‍ සූනීත සෝපාක වැනි ඔබට මට වඩා සැප සම්පත් නැති අකුරක්වත් කියාගන්නට අවස්ථාවක් නැතිව තිබුණ මනුස්ස ජීවිතත් මේ සත්ධර්මයෙන් නිසි ‍ඵල නෙලාගෙන මේ සසර දුක් කෙලවර කරගත්තා නේද? ඉතින් ඇයි ඔබට බැරිවෙන්නේ? අංගුලිමාලයන් වැනි 999ක් මැරූ කෙනෙකුටත් සත්ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබුණා නම් උදේ ඉදන් රෑ වෙනකම් බණ අහන පෝයට සිල්ගන්නට යන අඩුම ගානේ ධර්මය මෙයයි කියලා ඒ ගැන අංශුමාත්‍රයක හරි පැහැදීමක් උනන්දුවක් තියෙන ඔබට නොහැකි වෙන්නේ ඇයි?
ඔබ හිතන්නේ බුදු හිමියන්ගේ කාලේ ජීවත් වූ හැමෝම එක බණ පදයක් අහන මොහොතකින් මේ නිවන් අවබෝධ කරගෙන සසර දුක් කෙලවර කරගන්නට තරම් ප්‍රඥාවන්ත වූ අය කියලද? ඒ කාලේ දුක් සහිත ප්‍රතිපදාවන් කරගෙන ගිය බොහෝ කාලයක් ගත වෙලා නිවන් අවබෝධ කරගත්ත අය සිටියේ නෑ කියලද? එහෙනම් ඔබට වැරදිලා නේද කියලා හොඳින් හිතලා බලන්න. බුදු හිමියන් වරෙක දේශනා කරලා තියෙනවා "කෑ මොර දීපල්ලා, හඬපල්ලා ඒත් මේ දුක් කෙලවර කරගන්නා මාර්ගය නම් අතහැරගන්න එපා" කියලා... ඒ වගේ දේශනා කරන්නේ එක බණ පදයක් අහලා නිවන් අවබෝධ කරගත්ත පිරිසකටද නැතිනම් බොහෝම දුක සේ නිවන් අවබෝධ කරගන්නට ප්‍රතිපදාව සකස් කරගන්නා පිරිසකටද?
21 - 13febඉතින් මම නිතරම කියනවානේ. අවස්ථාව දිය යුත්තේ පරිසරය සකසා කරගත්තේ යුත්තේ තමන් විසින්මයි. බුදු හිමියන්ගේ කාලේ ජීවතයක් ලබලා ඒ ඒ අවස්ථාවන් අනුව අරිහත්වය අවබෝධකරගන්නට යෙදුණ ඒ උත්තරීතර අරිහතුන්වහන්සේලා පිරිසගේ සසර පුරාවට කල්ප ගණනාවක් තිස්සේ ඒ අය කරන්නට යෙදුණ විශේෂ ප්‍රාර්ථනයන් පිළිබඳව ධර්ම ග්‍රන්ථ වල බොහෝම පැහැදිලිව පෙන්වා තියෙනවා. ඔබට ඒවා ඇසුරු කරන්නට ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාවේ "අපදාන පාළිය" නම් කොටස තිබෙනවා. ඉතින් අසූමහා ශ්‍රාවකයන්ට අමතරව අරිහත්වයට පත්වෙච්ච‍ බොහෝමයක් බුදු හිමියන්ගේ කාලය තුල සිටියා කියලා අමතක කරන්නට එපා. ඒ පිරිස එකවරම බණ පදයක් ඇසූ පමනින් අරිහත්වයට පත්වූ හෝ බොහෝම සුවසේ ධර්මාවබෝධයට පත්වෙලා අරිහත්වයට පත්වූ අය ලෙසින් ‍හෝ බුදු හිමියන්ගේ ඇසුර 100%ක්ම ලබමින් සිටි අය හෝ ලෙසින් අදහස්ගන්නටත් සුදුසු නෑ නේද කියලා තමන්ගෙන්ම විමසා බලන්න.
ලබා ඇති අතිදුර්ලභ අත්බැවය නිසි ලෙසින් ප්‍රයෝජනයට ගෙන ලබා ඇති අති දුර්ලභ අවස්ථාව මග නොහැ‍රගෙන නිසි ඵල නෙලාගන්නට බුද්ධිමත් සැබෑම මිනිසෙක් වන ඔබට හැකිවෙත්වා! තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබේවා!!!

No comments:

Post a Comment

 
Blogger Templates