සම්මත ලෝකයේදී යම් පුද්ගලයෙකුගේ හෝ වේවා යම් ද්‍රව්‍ය වස්තුවක හෝ වේවා ආරක්ෂාව පිළිබඳව රැකවරණය පිළිබඳව කියන්නාවූ කරුණ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුදුමාකාරයෙන් දැවීමකට අසහනයට පත්වෙලා සිටිනවා. ඒ හේතුව නිසාම නීතියට පරිපාලනයට දොස් තබමින් සිත, කය, වචනය මෙහෙයවා කටයුතු කරන තත්වයට පත්වෙනවා. එහෙම නේද?
ඉතින් සත්ධර්මය කියන්නේ සෑම ගැටලුවකටම විසඳුමක් තියෙන අපූරු දෙයක්. ඒ තුලින් සහනය ලබන්නාට මේ කියන්නාවූ කිසිදු ආකාරයේ ගැටලුම තත්වයක් සිතට පැන නගින්නට නම් ඉඩක් නැති තරම්. ඉතින් මේ දේ අවබෝධ කරගැනීමට බුද්ධිමත් ඔබට සිතන්නට යමක් තමයි මෙවර අපි මේ ලිපියෙන් ගෙන එන්නේ .

එසේ ආරක්ෂාවක් රැකවරණයක් බලාපොරොත්තු වන හේතුව මොකක්ද? එයට නම් පිළිතුර තෝරාගැනීම බොහෝම සරළයි. ඉතාමත් කෙටියෙන් කියනවා නම් පවතින්නට තියෙන ආශාව කැමැත්ත තමයි මේ තුලින් පිළිබිඹු වෙන්නේ. තවත් ආකාරයකින් කියනවා නම් තමන් විසින් මැනගත්තාවූ සුවදායකයි කියන තත්වයක් වෙනස් වීමකට ලක්නොවී පවතීවා කියන බලාපොරොත්තුව කැමැත්ත නිසා මෙසේ ඒ පවතින තත්වයට ආරක්ෂාවක් රැකවරණයක් අවශ්‍යයයි කියලා සිතන්නේ.
දැන් ඉතින් බුද්ධිමත්ව එකින් එක ගැන සිතා බලන්න. ලෝකයේ යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී වෙනස්වී ගොස් විනාශයට මරණයට පත්වීම ධර්මතාවයයි. මෙය වෙනස් කරන්න කිසිම බලගතු කෙනෙකුට නොහැකියි. මන්ද එය තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන රටාව. යථා ස්වභාවය. ඉතින් මේ ස්වභාවය තෝරා නොගෙන එසේත් නැතිනම් පිළිගැනීමට තිබෙන අකමැත්ත නිසාම එසේ නොවේවා... එය වෙනස් කරන්නට හැකියි යන මතයක් දැරීම වැන් හිස් වැඩපිලිවෙලක නිරත වුණාම සිද්ධ වෙන්නේ කරන්නට බැරි දෙයක් කරන්නට ගොස් සිද්ධ වන දුකට අසහනයට වෙහෙසට පීඩාවට කම්පාවට පත්වෙන්නටම තමයි.
ධර්මාවබෝධයට පත්වූ තැන් පටන්ගෙන නම් මේ ගැටලුකාරී තත්වයන්ට සිත පත්වෙන්නේ නැත්තේ මේ යථා ස්වභාවය නුවණින්ම තෝරාගෙන යන රටාවට සිද්ධ වෙන්න හැර තමන් ඒ තත්වයට ඔරොත්තු දෙන ආකාරයේ මානසිකත්වයක් සකසා ගැනීමයි. හරියටම තුවාල නොවූ අතකින් වස විස ඇල්ලුවාය කියලා ඒ පුද්ගලයාට වස විස ශරීරගත වෙන්නේ නෑ වගේ තමයි.
දැන් මේ කරුණේදී අප විසින් නුවණ යොමු කල යුතු වැදගත් කරුණ වෙන්නේ තවමත් ධර්මාවබෝධයට පත්වී නොමැති නම් මේ ලෝකයේ සැබෑ තත්වය තෝරාගැනීමට ඔබ තවමත් අපොහොසත් නම් ඔබ පත්වී ඇති අනතුර ගැනමයි. ඔබ තවමත් තුවාල සහිත අතක් ඇති පුද්ගලයෙක් වගෙයි. ඒ පුද්ගලයා වස විස අල්ලනවා කියන්නේ විස ශරීරගතවීමක්මයි. ඉතින් සිද්ධිය එසේ නම් ඔබ ඉන්නේ මහා අනතුරකයි.
කොතරම් නීතියට පරිපාලනයට බැනවැදුනත් ඒවා නිවැරදි විය යුතුයි අපට රැකවරණය ආරක්ෂාව සැපයීමට විධිමත්ව කටයුතු කල යුතුයි කියලා උද්ඝෝෂණය කලත් ඔබ විසින්ම ඔබව පත්කරගෙන තිබෙන අනතුර නැතිකරන්නට කිසිම නීතිමය රැකවරණයකට නොහැකියි යන්න ඔබ විසින් නුවණින් තෝරාගත යුතු වෙනවා.
කෑම බීම විස නිසාවෙන් හෝ වේවා සමාජය එන්න එන්නම දරුණු වෙනවාය කියලා හෝ වේවා නුසුදුසු ආකාරයේ නොහොබිනාකම් සිද්ධ වෙනවාය කියලා හෝ වේවා සමාජයේ දැනට පවතින කුමන හෝ අයහපත් තත්වයක් ගැන ඔබ විසින් කෙනෙකුට දෝෂාරෝපණය කරනවා නම් වගකිව යුතුයි කියනවා නම් ඒ මේ පැවැත්ම තුල යථා තත්වය තෝරානොගත්තාවූ මානසිකත්වයක් නිසාමයි.
අවස්ථාවන් සමූහයක් මොහොතින් මොහොත ගෙවී ගෙවී යනවා... එක් මොහොතක්වත් නතර කරගන්නට නොහැකියි... ඒ අවස්ථා සමූහය තුල යහපත අයහපත ලෙසින් කැමැත්ත අකමැත්ත ලෙසින් ප්‍රිය අප්‍රිය ලෙසින් තත්වයන් බෙදාගෙන අවිද්‍යාව මුල්වීමෙන් සිදුවන හේතු ඵල රටාව නොදකින මනසක් ඇති යමෙක් වේ නම් ඒ පුද්ගලයා විසින් තමන් පත්වී ඇති මේ තත්වයට අනුකම්පා සහගතව මුහුණ දෙමින් ඒ තත්වයෙන් මිදීමට වහ වහා කටයුතු සිද්ධ කරගත යුතු වෙනවා.

මොහොතක්වත් අවිනිශ්චිත තත්වයක් නිශ්චිත තත්වයෙන් තිබෙනවායැයි දවල් සිහින දැකීම නතර කරගන්නේ යම් මොහොතකද එදිනට ඔබට මේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධ ගැටලු නම් පැන නොගනීවී. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් මොනම ආකාරයෙන්වත් දෝෂාරෝපණයක් නොකරාවි. පරිදේවයන් අසහනයන් පීඩාවන් දුක් වෙහෙස අයාසයන් ආදී සියලු දුක් රැසට මුල යථා තත්වය තතු සේ නොදැනීමම බව තෝරාගෙන නුවණැස පහළ කරගැනීමට උත්සූක විය යුතුමයි.
ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේ අවිද්‍යාව දුරු වීම තුලින්මයි. සැබෑම ආරක්ෂාව මරණයෙන් මිදීමයි. මිදීමට අපූරු ප්‍රඥාවන්ත මාර්ගයක් තවමත් විද්‍යාමානයි. ඒ මාර්ගයෙන් ඵල ලබන්නෝද තවමත් විද්‍යාමානයි. එසේනම් යථාර්ථයට මුහුණ දී සැබෑම රැකවරණය තමන්ට ලැබගැනීමට සැබෑම ආරක්ෂාව සපයාගත යුත්තේ තමන්විසින්මයි යන්න නුවණින් දැක ඒ අනුව කටයුතු කරන්නට බුද්ධිමත් ඔබ විසින් අප්‍රමාදී විය යුතුමයි. මානවයාගේ සැබෑම හිමිකම හෙවත් මානව හිමිකම් අයිතිවාසිකම එයම බව තම තම නැණ පමණින්ම තෝරාගැනීම ඔබට භාරයි. ඒ වගේම ඒ අයිතිය ඔබට ලබාදිය හැක්කේ අන් කවරෙකුටවත් නොව ඔබටම පමණි. එසේ නම් දොස් තබන්නට වගකියන්නට බාහිරයේ කිසිවෙකුත් නොමැති බව තෝරාගැනීමද කල හැක්කේ ඔබටම පමණි. තම තම නැණ පමණින් විමසා බලා සිත, කය, වචනය අකුසලයෙන් මුදවාගැනීමට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවා!!!
No comments:
Post a Comment