"මේ සටහනේ තැනක සඳහන් කළා, මේ ලෝකධාතුවේ කෲරතර දුක් විඳින සත්ත්වයන් පිළිබඳව. ආනන්තරිය පාපකර්ම කියන බලවත් අකුසල් හේතුවෙනුයි, අවීචි මහා නිරයේ නිරිසතුන්ගේ දුක මේ තරම් තියුණු. අවීචි මහා නිරයේ දුක්‌විඳින එක නිරිසතෙක් සිටිනවා. ඔහු දේවදත්ත. අකුසලය, ජීවිතය කොටගත් කෙනෙක්. ජීවිතය පළිගැනීම, ද්වේෂය උදෙසාම මෙහෙයවූ කෙනෙක්. දුර නොබලා, ළඟ පමණක් බලපු කෙනෙක්. අකුසල් සංස්‌කාරයන්ගේ උල්පතක්. ඒ උල්පතෙන් නිරතුරුව දුක වැගිරෙනවා. වැගිරෙන්නේ ජලය, කඳුළු නොවේ ගින්දරයි. එය ලෝකධාතුවේ අතිශය වේදනාකාරී දුකක්. ඔබත්, මමත් දිවා රාත්‍රී දෙකෙහිම මෙනෙහි කළ යුතුවූ දුකක්. මේ උතුම් මොහොතේ සතර අපායෙන් නොමිදුනහොත් අපටත් අනාගතයේ උරුමවූ දුකක්.
භික්‌ෂුවක්, උතුම් සාමාධිය තුළින් දේවදත්තව අරමුණු කොට බලනවා. දේවදත්ත අවීචි මහ නිරයේ සිටයි භික්‌ෂුවට දර්ශනය වෙන්නේ. මේ නිරිසතාගේ බෙල්ලෙන් ඉහළ කොටස් පමණයි, භික්‌ෂුවට පෙනෙන්නේ. හිස මුඩු වූ මිනිස් මුහුණක්. කිඹුල් කටක්. ඒ කියන්නේ කිඹුල් කටක් සහිත මිනිස් මුහුණක්. මනුෂ්‍යාගේ ස්‌වභාවයෙන්ම සිටිනවා. අඩියක් පමණ දිග, අඟල් 8 ක් පමණ පළල කිඹුල් කටකුයි තිබෙන්නේ. මේ නිරිසත්ත්වයා සෑම නිමේෂයකදීම ශරීරය තුළින් නැගෙන ලොකු කළගෙඩියක ප්‍රමාණයේ ගිනි ජාලාවක් කිඹුල් කටෙන් පිටකරනවා. අපි නාසයෙන් ශරීරය තුළට ගන්නා වාතය නැවත නාසයෙන් පිටකරනවා වාගේ, මේ නිරිසතා කිඹුල් මුඛයෙන් සෑම තත්පරයකදීම කළගෙඩියක ප්‍රමාණයේ ගිනි ජාලාවක් පරිසරයට මුදා හරිනවා. අපි හුස්‌ම රැල්ලක් ශරීරය තුළට ගන්න කොට මුළු ශරීරයටම එය දැනෙමින් ප්‍රබෝධයට පත්වෙනවා. එනමුත්, මේ දේවදත්ත නිරිසතාට, අකුසලය තුළින් උපන්නාවූ ගිනි ජාලාව, ශරීර අභ්‍යන්තරය දවමින්, මුඛය ඇතුළතද පිළිස්‌සෙමිනුයි පිටවෙන්නේ. මෙය නැවත නැවත සිද්ධ වෙනවා, කොටින්ම ඔහුගේ ප්‍රශ්වාසය සිදුවෙනනේ ගිනි ජාලාවකින්. ගිනි ජාලාව මුඛයෙන් පිටවෙන මොහොතේ මේ නිරිසතා දැඩි මරණීය වේදනාවකට පත්වෙනවා. එය එම නිරිසතාගේ මුහුණේ විද්‍යමානවෙන තියුණු ඉරියව්වලින් හොඳින් පෙනෙනවා. මේ නිරිසතාට කිඹුල් කටක් පිහිටා තිබෙන්නේ වැඩි ගින්දර ප්‍රමාණයක් පිටකිරීමට සහ, වැඩි අවකාශයක් මුඛය පිළිස්‌සීමේ වේදනාව දැනෙන්න. මොහුට මනුෂ්‍යයකුට තරම් කුඩා කටක් තිබුණානම්, කුඩා ගින්දරක් තමයි පිටවෙන්නේ. පිළිස්‌සෙන්නේ කුඩා අවකාශයක්. අකුසලයේ බලවත් භාවය නිසා, වැඩිපුරම වචනයෙන් කරගත් අකුසල් නිසාදෝ, මුඛය වැඩි දුකක් විඳීමට අවශ්‍ය හැඩයට පිහිටා තියෙනවා. මොහු ඈනුමක් අරින්න වාගේ වේදනාවෙන් කිඹුල්කට හොඳින් විවෘත කරනවා. ඒ එක්‌කම පිටවෙන්නේ ගින්දර ජාලාව. දේවදත්ත මේ මොහොතේත්, තවත් කල්ප ගණනාවකුත් මේ කෲරතර දුක විඳීවි. වාසනාවන්ත පිරිසක් අතර ඉපැදුන අවාසනාවන්ත මනුෂ්‍යයෙකි දේවදත්ත.
පින්වත් ඔබත්, ධර්මයේ සන්දිට්‌ඨික ගුණය පවතින මේ උතුම් අවස්‌ථාවේ ඉපැදුන අවාසනාවන්තයෙක් වෙන්න එපා. මේ අවීචි මහ නිරයට අයත් අකුසල් වලින් එකක් තමයි දෙමාපියන් මැරීම. මව්පියන් ඝාතනය නොකළත්, වර්තමාන සමාජයේ දෙමාපියන්ට මානසිකව මරණීය වේදනාවන් දෙනවා. මහළු නිවාස, දෙමාපියන් නොසලකා හැරීම, සේවකයන් ලෙස වැඩ ගැනීම, සමාජය තුළ හුඟක් සිද්ධ වෙනවා. මේ අකුසල් අවීචි මහ නිරයට අයත් නැතිවුණාට, මේවායේ විපාක බොහොම බලවත්. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණහොත් අනිවාර්යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුධිරය කිරි බවට පත්වුණේ, කරුණාව නිසාමයි. එවන් 'කරුණාවක්' ඔබ මහලු මඩමක ගාල් කරනවා නම්, නොසලකා හරිනවා නම්, සේවිකාවක් හැටියට දකිනවා නම්, අම්මා තාත්තා පිච්චෙන වේදනාවේ දුක්‌ගිනි වලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. "
(උපුටා ගැනිමකි )
No comments:
Post a Comment