Social Icons

Tuesday, July 1, 2014

ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට

මෙහි එන සෑම කරුණක්ම බුද්ධිමත්ව නුවණින් විමසා බලා තම තමන්ගේ යහපත උදාකරගැනීමට අවංකව කටයුතු කිරීමේ තීරණය ඔබටම භාරකරන්නෙමි.  සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් යම් ප්‍රකාශයනයක් යමෙක් පිළිබදව සිදු කරනවා නම් උන්වහන්සේ විසින් එය සිදුකරන්නේ සියලු හේතු තතු සේ දැනගෙනයි! එහෙම නේද? 

බුදු හාමුදුරුවෝ කියන්නේ කව්ද?

දැන් මුලින්ම අප විසින් විමසා බැලිය යුතුයි කව්ද මේ සම්මා සම්බුදුරජාණන්වහන්සේලා කියන්නේ කියලා... සම්මා සම්බුදුරජාණන්වහන්සේලා පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කිරීමට මා තරම් නොවූවත් උන්වහන්සේලා ගැන මිනිසුන් වශයෙන් අප විසින් දැනගෙන සිටිය යුතු විශේෂ කරුණු කීපයක් ඔබ වෙත ගෙන ඒමට මා කැමතියි.

Sunday, June 29, 2014

රතන සූත්‍රය හා එහි තේරුම



නිදාන කථාව හෙවත් දේශනා කිරීමට හේතුව

බුදුන් දවස විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියහ. ඉවත් ‍නොකළ මළමිනී කුණු වී හැමූ දුගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් විය. එහෙයින් අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය.

අධිකලෙස ගොඩගැසුණු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවිය. මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්‍ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූහ. බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය.
පසුව බිම්බිසාර රජතුමන්ගේ අවසරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විශාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විශාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය.

Saturday, June 28, 2014

භව දුක ගැන බුදු වදන්


කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි

බුදුන් වහන්සේගේ සියලු දේශනාවල මුලික අභිප්‍රාය වූයේ භවගත සත්ත්වයාගේ දුක නැති කිරීමේ ක්‍රමවේදය ඔහුට පැහැදිලි කිරීමයි. එනිසා නිර්වාණයට දුක්ඛක්ඛය යන පර්යාය නාමයක් ද වේ. එය මොක්ඛ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද දුකෙන් මිදීම යන අර්ථයෙන් වන අතර, නිරෝධ යනු ද දුක නැති කිරීම ම වේ. නිවන සැපක් ලෙස සලකනුයේ ද එහි දුක නැති නිසා ය. තමන් වහන්සේගේ පළමු දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් බුදුන්වහන්සේ හෙළි පෙහෙළි කරන ලද්දේ ද විශ්වයේ සත්ත්වයා විඳින දුක නමැති අත්දැකීම පිළිබඳ සහ එය හට ගැනීමට හේතුවත්, එයින් මිඳීම හා ඒ සඳහා වූ මාර්ගයත් ය. මෙබඳු අවධානයක් දුක පිළිබඳ බුදුදහම යොමු කොට ඇත්තේ දුක හා සැප නමැති මායාවේ සත්ත්වයා මුලා වී ඇති නිසා ය. අනෙක් අතින් භවගත වූ සත්ත්වයා දුකම විඳිමින් දුකෙහිම නිමග්ගනව දුට ම ශාප කරමින් දුක් ඇති දෙයක් ම සොයමින් අනාර්ය වූ පර්යේෂණයක නිරතව ඇති නිසා ය. මේ නිසා ඔවුනට තමා සිටින තැන එනම් භවයත්, එම භවයේ සනාතනික ධර්මතාව මන දුක ජය ගන්නා ආකාරයත් පැහැදිලි කළ යුතු වෙයි.

භවගත වූ සත්වයකුට මුහුණ පෑමට සිදුවන දුක, භව දුක්ඛ නමින් හැඳින්වේ. භවය සමඟ දුක යන අත්දැකීම ද එකට බැඳී ඇත. එකක් අනෙකෙන් වෙන් කොට විග්‍රහ කළ නො හැකිය. අනෙක් අතින් භවය හා ජාතිය හෙවත් ඉපදීම යන දෙකෙන් ජාති දුක්ඛය තේරුම් ගැනීම පහසු වන අතර භව දුක්ඛය තේරුම් ගැනීම එතරම් පහසු නැත. එහෙයින්ම භව දුක්ඛො යන යෙදුම ත්‍රිපිටකයේ බහුලව යෙදී නැත. ඒ වෙනුවට භව තණ්හා, භවනෙත්ති යනාදී පදවලින් භවය විස්තර කොට දුක්ඛ යන කේවල පදයෙන් සමස්ත භවයම දුකක් බව පෙන්වා දී ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස මහණෙනි, ස්වල්පමාත්‍ර වූ ද අශුචි දුගඳ වේ. මහණෙනි, මෙබඳු වූ භවය ස්වල්ප මාත්‍රයක්වත්, ඇසිල්ලක් තරම් කාලයක්වත් වර්ණනා නො කරමි’ යනුවෙන් බුදුරදුන් විසින් කරන ලද ප්‍රකාශය දැක්විය හැකිය. භවය දුකක් වන්නේ කෙසේදැයි ආගමික දාර්ශනික හා මනෝ විද්‍යාත්මක ආදී පසුබිම් ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.

Tuesday, June 24, 2014

ආර්ය මහා සංඝරත්නයේ අසිරිමත් සග ගුණ

තෙරුවන් සරණයි!
එදා බරණැස ඉසිපතන මිගදායේ දී  මේ ධර්මය අව‍බොධ කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගෙන් පැවත එන උතුම් වූ ශ්‍රාවකයන් වහන්සේලා,ලොව අන්පිරිස් කිසිවකවත් දැකිය නොහැකි අන්දමේ ගුණ රැසකින් යුක්ත ය.අප ගේ ශාස්තෘන් වහන්සේ එම අසිරිමත් සග ගුණ අපට පෙන්වා වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ‍ගේ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණය

බුදු සමිදුගේ ශ්‍රාවක සග රුවන රාග,ද්වේෂ,මෝහ, දුරු කරීමට වෙහෙසෙන පිරිසකි.එම ලාමක අකුසල් මුලිනුපුටා දමන සීල,සමාධි,ප්‍රඥා නම් වූ ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙළක මනාකොට පිළීපන් පිරිසක් නිසා ඒ ආරය මහා සග රුවන සුපටිපන්න වේ.

ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් සදහම් ගුණ

තෙරුවන් සරණයි !
අප ගේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා.එදා ඒ පස්වග මහණුන් අරඹයා බරණැස ඉසිපතන නම් වූ මිගදායේ සිට අවදි වූ ඒ අසිරිමත් සදහම් ස්වරය පුරා වසර හතලිස් පහක් පුරාවට ම ලෝ සතුන්ගේ සිත් සතන් නිවා සනහාලමින් අමා දම් රස ලබා දුන්නා.

ඒ ශ්‍රී සද්ධර්මය ලොව පවතින අනෙකුත් විෂය පථයන් ඉක්මවා යන  අනන්ත ගුණයන්ගෙන් යුක්තයි.ලෝකයේ කිසිදු විෂය පථයක නොමැති ඒ අසිරිමත් ගුණ අතුරින් ගුණ හයක් ඇසුරෙන් බුදු සමිදුන් ශ්‍රී සද්ධර්මය පිළිබදව පැහැදිලි කොට දුන්නා.මේ ගුණ හය බුදු දහමේ හැර ලෝකයේ කිසිදු දහමක් තුළ හෝ කිසිදු විෂයයක් තුළ දැකිය නොහැකියි.ඒ නිසා ම යි අප ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නම් වූ වටිනා රත්නය ආදරයෙන් සරණ යන්නේ.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ස්වක්ඛාත ගුණය.
මේ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරන ලද්දක්.එහි මුල,මැද,අග මනාව ගැලපෙනවා.සීල,සමාධි,ප්‍රඥා වශයෙන් අනුපිළිවෙලින් ගොනු වූ මේ අසිරිමත් දහම අර්ථ සහිතවම වදාරන ලද්දකි.කාටවත් නොතේරෙන පෙහෙලිකා මේ ධර්මය තුල නැහැ.ක්‍රමයෙන් ගැබුරට යන අයුරින් අතිශයෙන්ම පරිපූර්ණ වු පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතයකට මග පෙන්වන ස්වභාවයෙන් යුක්තයි.
මේ අයුරින් අපගේ ශාස්තෘන් වහන්සේ මනා කොට දේශනා කොට වදාල මේ ධර්මයට අමුතුවෙන් දේවල් එකතු කල යුත්තේ නැහැ.මෙවන් වූ මනාකොට දෙසන ලද ශ්‍රී සද්ධර්මය ස්වක්ඛාත ගුණයෙන් යුක්තයි.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ සන්දිට්ඪික ගුණය.
මේ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි එකක්.ධර්මයේ හැසිරෙන කාහටත් එහි සත්‍යය අසත්‍යය දැකිය හැකියි.මේ තුල අන්තර්ගත වන්නේ මේ දිවියේදීම සාක්ෂාත් කළ යුතු දෙයක් මිස මරණින් පසු ලබන්නා වූ විමුක්තියක් නොවේ.
ඒ අයුරින් ධර්මයේ හැසිරෙන අයට මේ ජිවිතයේ දීම ඒකාන්තයෙන් ම ප්‍රතිඵල ලැබිය හැකියි.ඒ නිසයි මේ ශ්‍රී සද්ධර්මය සන්දිටිඪීක වන්නේ.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අකාලික ගුණය.
මේ ශ්‍රී සද්ධර්මය කාලයේ පහර කෑමට කිසිවිටක හසුවන්නේ නැහැ.එයට හේතුව සියලු කාලයට ගැලපෙන සත්‍යයක් අඩංගු වීමයි.කාරණා සහිතව මේ ශ්‍රී සද්ධර්මය අදට නො ගැලපෙන බව පවසන්නට හැකි අයෙක් තවම බිහිවී නැහැ.එය  කිසිදාක සිදු නොවන්නෙකි.අදටත් මේ ධර්මයට අනුව දිවිය ගත කරනා පින්බර මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කර සංසාර දුකින් නිදහස් විය හැකියි.එවන් වූ අකාලික ධර්මය අපි සරණ යමු.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණය.
බුදු සමිදුන්ගේ ශ්‍රී සද්ධර්මය ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න යැයි කිවිය හැකි ධර්මයකි.මේ ශ්‍රී සද්ධර්මය විවෘත එකකි.ඒ තුල රහස් බණක් නොමැත.මේ ධර්මය අවබෝධ වන්නේ හුදු ඇදහීමක් තුළින් නොවේ.ඇදහීම ඉක්මවා ගිය නුවනින් විමසීම තුළිනි.ඒ නිසා අප ඒහිපස්සික ගුණයෙන් යුතු ශ්‍රී සද්ධර්මය සරණ යමු.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඕපනයික ගුණය.
මේ ධර්මය තමන් තුලට පමුනුවා ගත යුත්තකි.එනම් දැකිය යුත්තේ තමා තුලිනි.තමන් මේ දහම් මගෙහි ගමන් කළ ‍හොත් මග ඵල ලබන්නේ තමන්ය.මේ ඕපනයික වූ ධර්මය වහ වහා අප දිවියට පමුණුවා ගැනීමට උත්සහ කරමු.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි ගුණය.
ඕනෑම ජාතියක,කුළයක,ගෝත්‍රයක සිටිනා බුද්ධිමත් මිනිසුන්ට මෙය අවබෝධ කල හැකිය.කපටි නැති,මායා නැති,වංචා නැති,අවංක ගති ඇති ඕනෑම කෙනෙකුට මේ දහම තුළ ප්‍රතිඵල පැබිය හැකියි.මේ දහම තම තම නැණ පමණින් අව‍බෝධ වන්නෙකි.එනිසා මේ සුන්දර ධර්මය තම තම නැණ පමනින් අවබෝධ කර ගැනීමට වීර්යය කරමු.
මෙලෙස අසිරිමත් ගුණෙන් සපිරි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි මුළු හදවතින්ම සරණ යමු.

බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ

තෙරුවන් සරණයි!
බොහෝ පිරිස් උපතින් දෙමාපියන් බෞද්ධ නිසා බෞද්ධ වේ.නමුත් එය නිවරදි ලෙස බුදු සම්දුන් සරණ යෑම නොවේ.
අප පාසලේදී බුද්ධ දර්මය හැදෑරුවේ විශයක් ලෙස O/L විභාගයට තවත් A සමතක් ගැනීම සදහා පමනක් නොවෙද?ඉන් අවංකයෙන්ම අපගේ ජීවිතයට ලබා ගත් දෙයක් ඇත්ද?එකල මා දැන උන්නේ බුදු සමිදුන්ගේ ගුණ කට පාඩමින් ‘ඉතිපිසෝ භගවා’ යන අයුරින්ය.එහි තේරුමද නෙදැන සිටියේය.මා මෙන්ම බොහෝ පිරිසක් එසේ වු බව නොඅනුමානයි.
 
Blogger Templates